ජාතික ක්‍රමසම්පාදන දෙපාර්ම්න්තුව ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමඟ එක්ව "උපායමාර්ගික ව්‍යාපෘති සැකසීම" යන තේමාව යටතේ සියළුම අමාත්‍යාංශ සහ පළාත් සභාවල සංවර්න සැලසුම් සකස් කරන නිලධාරීන් කණ්ඩායම් තුනකට වෙන් කර 2018 සැප්තැම්බර් 14, 21 හා 28 යන දිනවලදී එක් දින වැඩමුළුවක් පවත්වන ලදී. මෙම වැඩමුළුවේ අරමුණු වූයේ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ සංශෝධිත ආකෘති පත්‍රය හඳුන්වා දීම හා ප්‍රායෝගික සැසි හරහා උපායමාර්ගික ව්‍යාපෘති පිළියෙල කිරීම සහ ඇගයීම සඳහා නිලධාරීන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමයි. රේඛීය අමාත්‍යාංශ 41 ක් සහ පළාත් සභා 9 ක් නියෝජනය කරමින් නිලධාරීන් 170 දෙනෙක් මෙම වැඩමුළුවට සහභාගී වූහ. මෙම වැඩමුළුව සැලසුම්කරණය සම්බන්ධිත න්‍යායාත්මක සැසි හා සිද්ධි අධ්‍යයන මගින් ප්‍රධාන ව්‍යාපෘති සංරචක හඳුනා ගැනීම පිළිබඳ ප්‍රායෝගික සැසිවලින් සමන්විත විය. සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් පිළියෙල කිරීම පිළිබඳ  පුළුල් දැනුමක් සහ පළපුරුද්දක් නිලධාරීන් වෙත ලබාදෙමින් වැඩමුළුව සාර්ථකව අවසන් කරන ලදී.